
සෝදිසි වරෙන්තුවක් නැතුව ගේ පරික්ෂා කලැයි දේශබන්දුගේ බිරිඳගෙන් පැමිණිල්ලක්
හෝකන්දර ප්‍රදේශයේ පිහිටි තමන් පදිංචි නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (18) දිනයේදී සෝදිසි වරෙන්තුවක් නොමැතිව සෝදිසි කළ බව පවසමින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ වන පී. ඒ. උමයංගනී විජේවර්ධන මහත්මිය විසින් අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක් ගොනුකර ඇති බව වාර්තා වේ.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ නීතීඥවරියක් වන අතර ඇය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරයි.
මේ අතර, ඊයේ (18) පස්වරුවේ එම නිවස පරීක්ෂා කළ බවත් එම නිවසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 795 ක් සහ වයින් බෝතල් 214 ක් පොලීසිය බාරයට ගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ගිනි අවිය ලෙස සැලකෙන පිස්තෝල අවියක් සහ ඇපල් වර්ගයේ දුරකථන දෙකක් පොලීසිය බාරයට ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ජංගම දුරකථන හරහා තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය කරගැනීමට හැකිවෙනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තුවෙන බවයි, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේ.