පළාත් පාලන ඡන්දයට නාමයෝජනා භාර ගැනීම අද සිට

පළාත් පාලන ඡන්දයට නාමයෝජනා භාර ගැනීම අද සිට

2025 පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අදින් (17) ආරම්භ වෙයි.

ඒ අනුව, අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවයි, මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ.

එම කටයුතු සිදු වන්නේ, උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වායි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී නාම යෝජනා භාර ගැනීම සිදුවන්නේ, තේරීම් භාර නිලධාරීන්ගේ මූලිකත්වයෙන්ය.

පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම මෙලෙස අද දිනයෙන් ආරම්භ වන අතර නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අතර පළාත් පාලන ආයතන 336 ක් සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ද, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

මෙතෙක් ඒ සඳහා අයදුම් නොකළ සුදුසුකම් ලත් අයදුම්කරුවන්, සිය තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙයි.