බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බටලන්ද අද හිරු එළිය දුටු බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවසීය.

එම වාර්තාව නීතිපතිවරයාට යොමු කරන බවත් කොමිෂන් වාර්තා පිළිබඳව ඉදිරි තීරණ ගැනීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කිරීමටත්, දෙදින විවාදයක් පැවැත්වීමටත් තීරණය කෙරුණු බව සභානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඒ අනුව, මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇත.

ඒ අනුව, සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින 2ක විවාදයක් පැවැත්වීමටත් පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම, බටලන්ද කොමිෂන් සභා වාර්තාව භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර ජනතාවගේ පරිහරණය සඳහා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි, එහිදී ඔහු සඳහන් කළේ.