
හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් කැලෑවකින් හමුවෙයි
හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් කපුගම මධ්‍යම කුරුඳුවත්ත පාරේ වෙන්දේසි ඉඩමක කැලෑ රොදක සඟවා තිබියදී ගන්දර පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ගන්දර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මතයි, මෙම මෝටර් රථය සොයාගෙන ඇත්තේ.
මෝටර් රථයේ අංක තහඩුව වෙනස්කර මුළු රථයම අලුතින් තීන්ත ආලේප කර සකස් කර ඇති බවත්, මෝටර් රථය තුළ සිටින පුද්ගලයන් හඳුනාගත නොහැකි වන සේ රථයේ ඉදිරිපස හා පසුපස මෙන් ම දෙපස වීදුරුවල ද තීන්ත ආලේප කොට තිබූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් මෝටර් රථයේ පිටුපස ඩිකියේ කෑන් දෙකක පෙට්‍රල් ලීටර් හයක් ද හමු වී තිබේ.
එමෙන්ම, රථය තුළ තිබී අංක තහඩු වෙනස් කිරීමට භාවිත කළ සුදු හා කළු පැහැති ස්ටිකර් හා ස්ටිකර්වලින් සැකසූ තවත් අංක කිහිපයක් ද පොලීසිය සොයා ගෙන තිබේ.
මෝටර් රථයේ එන්ජින් අංකය මකා දමා චැසි අංකය ද මිටියකින් තලා වෙනස් කර තිබූ අතර මෝටර් රථයේ ඉදිරිපස කොටස තුළ මෝටර් රථය නිෂ්පාදනය කළ ආයතනය විසින් අලවන ලද මෝටර් රථයේ තොරතුරු සටහන් ස්ටිකරය ද ඉරා දමා තිබූ බවට අනාවරණය වේ.
හිමිකරුවෙකු නොමැති මෙම මෝටර් රථය මෙලෙස සකස්කර සඟවා තැබුවේ කිසියම් අපරාධයක් සිදු කොට අංක තහඩු නැවත වෙනස් කොට පලා යාමේ අරමුණින් ද යන්න සැකයක් පවතින පවතින බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි, පොලිසිය පැවසුවේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් නිල සුනඛ අංශය මෙන්ම මාතර කොට්ඨාස අපරාධ ස්ථාන පර්යේෂණාගාරයේ නිලධාරීන් ද මෝටර් රථය පරීක්ෂා කර වැඩිදුර පරීක්ෂාවන් සඳහා කොටස් රැගෙන ගොස් තිබේ.