කඳුනැගීමේ ශූර යොහාන් පීරිස් දිවයිනට

කඳුනැගීමේ ශූර යොහාන් පීරිස් දිවයිනට

ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූර යොහාන් පීරිස්, ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම දිවයිනට පැමිණ තිබේ.

යොහාන් පීරිස් අලුයම 02.20 ට පමණ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීම සදහා ඔහුගේ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි, අප වාර්තාකරු පැවසුවේ.

යොහාන් පීරිස් මෙවර ඇන්ටාටිකාවේ වින්සන්ට් කදු මුදුන සහ දකුණු ඇමෙරිකාවේ, ආජෙන්ටිනාවේ ඇකන්කගුවා කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව මෙලෙස පැමිණ තිබුණි.

ඒ අනුව, මේ වනවිට ආසියා මහාද්වීපයේ එවරස්ට්, අප්‍රිකා මහාද්වීපයේ කිලිමැන්ජාරෝ, ඕස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඩස්කෝ, යුරෝපා මහාද්වීපයේ එල්බ්‍රෙස්, ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට් සහ දකුණු ඇමෙරිකාවේ ඇකන්කගුවා යන කඳු සාර්ථකව තරණය කිරීමට යොහාන් පීරිස් සමත් වී තිබේ.

ඔහුට තවත් ඉතිරි වී ඇත්තේ ඇලෙස්කා මහාද්වීපයේ ඩිනාලී කඳු මුදුන තරණය කිරීම බවත්, තමන් ඒ සඳහා එළඹෙන මැයි මාසයේ මෙරටින් පිටත්ව යන බවත්, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහාන් පීරිස් සඳහන් කළේය.

ලෝකයේ මේ වනවිට මේ ආකාරයට ලොව උසම කඳු මුදුන් 07 ම තරණය කළ පුද්ගලයන් 400 ක් සිටින බව ද යොහාන් පීරිස් පැවසීය.