
මිද්දෙණියේ වෙඩි තැබීමකින් පියා සහ දියණිය මරුට
තම දරුවන් දෙදෙනා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට කිසියම් කණ්ඩායමක් ඊයේ (18) රාත්‍රීයේ මිද්දෙණිය – කඩේවත්ත මන්සන්ධියේදී සිදුකළ වෙඩි තැබීමකින් පියා හා දියණිය මියගොස් පුතා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මිද්දෙනිය පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ, වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අනුර ප්‍රියන්ත නොහොත් කජ්ජා යන අන්වර්ත නමින් හඳුන්වන පුද්ගලයෙක් හා ඔහුගේ 06 හැවිරිදි දියණිය බව පොලීසිය කියයි.
මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රී 10.15 ට පමණ සිදුව ඇති අතර වෙඩි වැදීමෙන් යතුරුදියේ ගමන්කළ පියා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත.
බරපතල තුවාල ලැබූ මරණකරුගේ දියණිය තංගල්ල රෝහලට හා පුතා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියණිය මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ පුතා පසුව රත්නපුර මහ රෝහලට මාරු කොට ඇති බවත් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බවත් පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයාට ජීව අත්අබෝම්බයක් සහ රිවෝල්වරයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවතින බවයි, වාර්තා වන්නේ.
මෙම වෙඩිතැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැකකරයි.
තංගල්ල කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ මෙයෙවීම මත පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
