
අධිකරණ නියෝගය නොතකා තිස්ස විහාරය ඉදිරිපිට කළු කොඩි ඔසවයි!
යාපනය මල්ලාකම් අධිකරණයෙන් නිකුත් කළ අධිකරණ නියෝගයද නොතකා දෙමළ දේශපාලන පක්ෂ රැසක් හා ස්වේච්ඡා සංවිධාන කීපයක් කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් කර තිබුණි.
ඊයේ (11) පැවැත්වුන මෙම විරෝධතාවයට උතුරේ මුස්ලිම් සංවිධාන කීපයක්ද එකතු වී සිටි අතර ඔවුන් සියලු දෙනාම කලු කොඩි ඔසවමින් සටන් පාඨ කියමින් කෑ කෝ ගසමින් මෙම විරෝධතාවය දියත් කර තිබුණි.
පෙබරවාරී මස 13 වෙනිදා දක්වා මෙම ස්ථානයේ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් කන්කසන්තුරේ පොලීසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබූ නමුත් විරෝධතාකරුවෝ එය සැලකිල්ලට නොගෙන විශාල විරෝධතවයක් දියත් කර තිබුණි.
ඔවුන් කියා සිටින්නේ, කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරස්ථානය ඉදිකොට ඇති අක්කර 14 ක ඉඩම යාපනයේ වැසියන් කීප දෙනෙකුට අයත් ඉඩමක් නිසා වහාම විහාරය එම ස්ථානයෙන් ඉවත් කොට ජනතාවට ඉඩම ආපසු ලබා දෙන ලෙසයි.
එම ඉඩම වෙනුවට විකල්ප ඉඩමක් ලබාදීමට ආණ්ඩුකාරවරයා හා යාපනය දිසාපතිවරයා කැමැත්ත පල කර ඇතත් උතුරේ දෙමළ දේශපාලනඥයින් ඊට එකග වී නොමැත.
ඔවුන් ප්‍රකාශ කරන්නේ රජය මෙම ප්‍රශ්නය සාධාරණව විසදීමට කටයුතු නොකළහොත් තිස්ස රජ මහා විහාරය අනවසර ඉදිකිරීමක් ලෙස සලකා එය කඩා ඉවත් කිරීමට ඔවුන් පියවර ගන්නා බවයි.

