විදුලි බිඳ වැටුණු හේතුව ගැන ලංවිම ඉංජිනේරු සංගමයෙන් පැහැදිලි කිරීමක්

විදුලි බිඳ වැටුණු හේතුව ගැන ලංවිම ඉංජිනේරු සංගමයෙන් පැහැදිලි කිරීමක්

දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීමට මූලික හේතු වන්නේ ඊයේ ( 09 ) එනම් ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම සහ සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් සූර්ය විදුලි බලයෙන් නිපදවීම බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජීනේරු සංගමය පවසයි.

කෙසේ නමුත් මෙම තත්ත්වය, නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතු බව එම සංගමය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජීනේරු සංගමය මේ බව ඊයේ (09) සවස නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේය.

ඉන්ජිනේරු සංගමයේ මතය වන්නේ පානදුර විදුලි උපපොළේ 33 kV පෝෂක අංගණය (33 kV Bus Bar) ආශ්‍රිතව සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමක් සමග අඩු විදුලි ඉල්ලුම නිසා සහ ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය නිසා ස්ථායීතාවය අඩු මට්ටමක පැවැති ජාතික විදුලි බල පද්ධතිය, අසමතුලිත වී, ස්වයංක්‍රීය හදිසි බිඳවැටුම් කළමනාකරණ ක්‍රියාවලිය මගින් පද්ධතිය යථාවත් කර ගැනීමට නොහැකිවීම තුළ සමස්ත දිවයිනේම විදුලි සැපයුම විසන්ධි වූ බවය.

ජාතික විදුලිබල පද්ධතිය මෙවැනි අවදානම් තත්ත්වයක ආසන්නයට මීට පෙර ඉරිදා දින කීපයකදීම පැමිණියද, එහිදී විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ දක්ෂතාවය මත පූර්ණ විදුලි විසන්ධි වීමක් සිදු නොවී වළක්වා ගත් බවද ඉන්ජිනේරුවෝ පවසති.

කෙසේ නමුත් ඊයේ (09) දින ජාතික විදුලිබල පද්ධතියේ පැවැති දුර්වල තත්ත්වය හේතුවෙන් සමස්ත විදුලි බිඳ වැටීම වළක්වා ගත නොහැකි වූ බව අනුමාන කරන බව ඔවුහූ පවසති.

ඔවුන් කියා සිටින්නේ මෙවැනි විදුලි බිඳ වැටුම් ඉදිරියේදී සිදු නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිය ගබඩා කිරීමේ බැටරි පහසුකම් (Battery Storage’s) හා ජල පොම්ප බලාගාර (Pump Storage) වලට අදාළ ව්‍යාපෘති කඩිනම් කිරීමට දැනටමත් ලංකාවේ විදුලිබල මණ්ඩලය හා බලශක්ති අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් පවතින බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලනය අංශය හා අනෙකුත් අංශ යුහුසුළුව කටයුතු කරමින් සමස්ත විදුලි පද්ධතිය කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රියා කරන බවත් මේ සම්බන්ධයෙන් ඇතැම් වැරැදි මත සමාජ ගත කිරීමට යම් පාර්ශ්ව උත්සාහ ගන්නා බව නිරීක්ෂණය කර ඇති බවත් ඉන්ජිනේරු සංගමය වැඩිදුරටත් පවසයි.