විද්‍යා ඝාතකයින් මරණ දඬුවමට එරෙහිව ගොනුකළ අභියාචනා විභාගයට දින දෙයි

විද්‍යා ඝාතකයින් මරණ දඬුවමට එරෙහිව ගොනුකළ අභියාචනා විභාගයට දින දෙයි

යාපනය පුන්කුඩුතිව් හී පදිංචිව සිටි පාසල් සිසුවියකු වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම් නියමව සිටින විත්තිකරුවන් හත්දෙනා විසින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) දින නියම කළේය.

ඒ අනුව, අදාළ පෙත්සම් අගෝස්තු මස 25 වැනිදා විභාගයට ගැනීමට නියම කෙරිණ.

ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා, සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම අභියාචනා පෙත්සම් කැඳවනු ලැබීය.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ 18 හැවිරිදි සිවලෝගනාදන් විද්‍යා නමැති පාසැල් දැරිය 2015 වසරේදී පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට යාපනයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2017 සැප්තැම්බර් 27 වැනිදා මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් තමන්ට එම දඩුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් මහාධිකරණ තීන්දුව අහෝසි කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් මෙම අභියාචනා ඉදිරිපත් කර තිබේ.