කෝටි දෙකක කුෂ් මත්ද්‍රව්‍ය සමග ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

කෝටි දෙකක කුෂ් මත්ද්‍රව්‍ය සමග ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ ” රක්ත මාවත ” (Red Channel) ඔස්සේ පැමිණි , ව්‍යාපාරික ගුවන් මගියෙකු සහ ඔහු රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ඊයේ (31) දින පස්වරුවේ ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු හංවැල්ල ප්‍රදේශයේ පදිංචි නිතර නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් , කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ විදේශීය නිෂ්පාදිත භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ දහවල් 11.15 ට පැමිණ තිබුණි .

ඉන්පසු ඔහු කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත ගොස් තවත් භාණ්ඩ තොගයක් ද මිළට ගෙන තිබේ .

ඇමෙරිකානු ඩොලර් 100 ට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ රැගෙන එන ව්‍යාපාරිකයන් , ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ පිහිටි ” රක්ත මාවත ” ඔස්සේ පැමිණ , එහි සේවයේ නිරත රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළ යුතුය .

පසුව ඒ සියල්ල නිමා කළ මොහු ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 02 ක බරකින් යුතු “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන තිබූ අතර , මෙම ව්‍යාපාරිකයා ගුවන් තොටුපොළේ සිට රැගෙන යාම සදහා පැමිණ සිටි උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඊට අමතරව ගුවන් තොටුපොළ “රක්ත මාවත” රේගු නිලධාරීවරයෙකු පිළිබඳ ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.