හර්ෂ ඉලුක්පිටියගේ ඇප ඉල්ලීම ගැන නියෝගය කල්යයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය දිනයක් නොමැතිව කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළහ.
කෙසේ වෙතත්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළ විභාගය ලබන මැයි මස 08 වනදා සිදුකිරීමට විනිසුරු මඩුල්ල නියම කළහ.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන සිය සේවා දායකයා මාස හතරක කාලයක් රිමාන්ඩ් භාරයට පත් කර සිටින බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙසයි.
දැනට මේ අදාල ප්රශ්නය නිරාකරණය වී ඇති බැවින් පෙත්සම්කරුවන්ද තම සේවා දායකයාට ඇප ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බවද ඔහු කියා සිටියේය.
විද්‍යුත් වීසා ලබා දීමේ සේවාව විදේශ සමාගම් දෙකකට ලබා දීමට ගෙන ඇති තීරණය වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හර්ෂ ඉලුක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කළේය.