නිල ඇඳුමින් සූර්වී නින්දට වැටුණු පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්

නිල ඇඳුමින් සූර්වී නින්දට වැටුණු පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්

නිල ඇඳුමින් සැරසී බීමතින් කිසියම් ස්ථානයක නිදා සිටින පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා තුළ පැතිර ගිය වීඩියෝවක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එවැනි විෂමාචාර සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා,

“පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තම රාජකාරී කාලසීමාව අතරතුර පොලිස් සේවයට නොගැලපෙන ලෙස හැසිරී යම් ස්ථානයක නිදා සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.”

“මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. මෙම සිදුවීමට අදාළ පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා දැඩි අප්‍රසාදය ද පළ කළා.”

“එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම විමර්ශනයෙන් අනතුරුව මේ සඳහා වගකිවයුතු සියලුම නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට කටයුතු කරනවා.”