විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට යෝජනාවක්

විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් විය.

එහිදී, අදහස් දක්වමින් සංසදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ලංකාවේ විවාහවන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳව සංසදයේ අවධානය යොමු කර තිබේ.

ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත් ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමටත් එහිදී යෝජනා වී තිබේ.

එමෙන්ම “ළමයා” යන්න නිවැරදි ලෙස අර්ථකතනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදු කිරීමටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු වී තිබේ.

එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග කාන්තා අභිවෘද්ධිය නගා සිටුවීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මිය විසින් ඉදිරිපත්කළ සංශෝධන කළ යුතු කරුණු ඇතුළත් පනත් කෙටුම්පත් නැවත ඉදිරිපත් කිරීමටත් යෝජනා කර ඇති බවයි, වාර්තා වන්නේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ හිටපු සභාපති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සඳහා වන සංශෝධන තව දුරටත් අධ්‍යනය කර ඒ සඳහා නව යෝජනා ඇතුළත් කරමින් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ.