ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක උකස් තැබූ ලක්ෂ 22 ක රන් භාණ්ඩ සේවකයින් කොල්ල කාලා
ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ මූල්‍ය සමාගමක් විසින් යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ පවත්වා ගෙන යන ශාඛාවක උකස් තබන ලද ස්වර්ණාභරණ කට්ටල කීපයක් හොරකම් කිරීමේ චෝදනාව මත එම ශාඛාවේ හතර දෙනෙකු මරදන්කේණී පොලීසිය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් හතර දෙනාගෙන් දෙදෙනෙකු කාන්තාවන් වන අතර ඔවුන් සියලුම දෙනා එම මූල්‍ය සමාගමේ සේවක සේවිකාවෝ වෙති.
ඔවුන් විසින් මූල්‍ය ආයතනයේ උකස් තබන ලද රුපියල් ලක්ෂ 22 ක් වටිනා ස්වර්ණාභරණ හොරකම් කර ඇති බවට මූලික පරීක්ෂණ වලදී තොරතුරු අනාවාරණය වී ඇති අතර එම ප්‍රමාණය ඇතැම් විට ඊටත් වඩා වැඩි විය හැකි බවද යාපනය පොලීසිය සඳහන් කරයි.
අදාල සමාගම විසින් උකස් ගන්නා ලද ස්වර්ණභරණ එම ශාඛාවේ සේප්පුව තුළ ගබඩා කර තිබියදී අතුරුදහන් වී තිබේ.
උකස් තබන ලද රන් භාණ්ඩ කට්ටල ආපසු බේරා ගැනීමට පැමිණි ගණුදෙණු කරුවන් කීපදෙනෙකුගේ ස්වර්ණාභරණ සේප්පුවේ නොතිබීම නිසා ඒ පිළිබදව සිදු කළ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ, ස්වර්ණාභරණ බහා ලූ ඉටි කවර පමණක් තිබියදී ඒවා තුළ වූ ස්වර්ණාභරණ හොරකම් කර ඇති බවයි.
මූල්‍ය ආයතනයේ උකස් අංශයේ නිලධාරීන්ගේ සහය නොමැතිව එවැන්නක් සිදු වීමට ඉඩක් නොමැති නිසා මූල්‍ය සමාගමේ කළමනාකාරවරයා සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේණී පොලීසියට කළ පැමිණිල්ලකින් පසුව එක් සේවකයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම හොරකම පිළිබදව තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් හතර දෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මරදන්කේණී පොලීසිය පියවර ගෙන තිබේ.