කකා හිටපු බත් පිඟානේ මියගිය කැරපොත්තෙක්
හැටන් නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවකින් ඊයේ (21) දහවල් ආහාරයට ගත් බත් වල කැරපොත්තෙක් සිටීම සම්බන්ධයෙන් එම ආපනශාලාවේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ මස 31වන දින නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසීය.
දිවා ආහාරය ලබාගනිමින් සිටියදී පිගානේ මියගිය කැරපොත්තෙකු සිටීම සම්බන්ධයෙන් ආපනශාලාවේ සේවකයන්ට දැනුම් දුන් නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකල නිසා පාරිභෝගිකයා විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය (119) වෙත දැනුම් දීමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් විසින් එම ආපනශාලාව වෙත ගොස් විමර්ෂණයක් සිදුකර ඒ සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත දැනුම් දී ඇත.
ඒ අනුව, එම ආපනශාලාව අපිරිසිදුව පවත්වාගෙන යාම ඇතුළු චෝදනා හතරක් යටතේ එහි හිමිකරුට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කර ඇති බවත්, හැටන් නගරයේ මෙවැනිම ආකාරයෙන් අපිරිසිදු අයුරින් ආපනශාලා පවත්වාගෙන ගිය ආපනශාලා හිමියන් රැසකට එරෙහිව මේ වන විට නෛතික පියවර ගෙන ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.