පියාගේ මණ්ඩා පහර නැවතුන තැන
දංකොටුව පොලිස් වසමේ ඇටියාවල ප්‍රදේශයේ පියකු හා පුතෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් කෝපයට පත් පියා ධීවර කටයුතුවලදී මසුන් මැරීමට උපයෝගී කරගන්නා මණ්ඩාවකින් සිය පුතාගේ මුඛයට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මණ්ඩාව දැඩි ලෙස මුඛය ප්‍රදේශයට ඇතුළු වී තිබීම නිසා එය ඉවත් කිරීමට නොහැකිව පහරකෑමට ලක් වූ පුත්‍රයා මුඛය පෙදෙසට ඇතුළු වී ඇති මණ්ඩාවත් සමඟ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව දංකොටුව පොලිසිය පවසයි.
ඇටියාවල පදිංචි සජිත් රමේෂ් නමැති වයස අවුරුදු 24ක එක්දරු පියෙක් මෙලෙස ප්‍රහාරයට ලක්ව තිබේ.
ප්‍රහාරය එල්ල කළ පියා, ප්‍රහාරයට ලක් වූ පුතා හා ඔහුගේ බිරිය සහ අවුරුද්දයි මාසයක් වයසැති දරුවා එකම නිවසේ පදිංචිව සිටින අතර සිද්ධිය වූ දින පුතා නිවසට පැමිණීමට ප්‍රමාද වූ බව පවසමින් පියා සහ පුතා අතර බහින් බස්වීමක් ඇති වී තිබේ.
මේ ආරවුල දුරදිග ගොස් කෝපයට පත් පියා එක්වරම නිවසේ තිබූ මණ්ඩාවෙන් පුතාගේ මුඛ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
තදින් එල්ල වූ මේ ප්‍රහාරය හේතුවෙන් මණ්ඩාවේ ඉදිරිපස ඇති කොටසේ බිලී කොකු මෙන් සකසා ඇති තියුණු උල් කීපයක් මුඛය පසාරු කරගෙන ගොස් ඇත.
ගැලවීමට නොහැකි ලෙස මුඛය කොටසට ඇතුළු වී ඇති මණ්ඩාව සමඟ ප්‍රහාරයට ලක් වූ අය දංකොටුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේ වෛද්‍යවරුන් ඔහු පරීක්ෂා කර තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට යැවීමට කටයුතු කර තිබේ.
මේ සිද්ධිය වන අවස්ථාවේ ප්‍රහාරයට ලක් වූ අයගේ පියා අධික ලෙස බීමත්ව සිට ඇති බවත් පියා පොලීසිය මඟ හරිමින් සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරන බවත් දංකොටුව පොලීසියේ ස්ථානාධිපති ශිරාන් පෙරේරා මහතා සිදු කළ විමසීමකදී කියා සිටියේය.