දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දෝෂාභියෝගයට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් (Yoon Suk Yeo) දකුණු කොරියානු දූෂණ විරෝධී විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යූන් සොක් යෝල් රැගත් රථ කිහිපයක් ඔහුගේ නිවසින් පිටව ගිය බවයි, බී. බී.සි පුවත් සේවය වාර්තා කළේ.

අද (15) උදෑසන යුන් සොක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා දෙවන වරටත් විමර්ශකයින් ඔහුගේ නිල නිවසට ඇතුළු වී තිබේ.

ඒ සඳහා නිලධාරීන් 3,200කට ආසන්න සංඛ්‍යාවක් ඔහුගේ නිවසට යොමු කර ඇති අතර ඔහුගේ අධාරකරුවන් සහ පොලීසිය අතර ඇති වූ ගැටුම් වලින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

යූන් සුක් යෝල්ගේ ආරක්ෂක සේවයේ නියෝජ්‍ය ප්‍රධානියා වන කිම් සුං හූන් ද අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේ ය.

ඒ, යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ චෝදනා මතයි.

පසුගිය 31වැනි දා දෝෂාභියෝගයක් හේතුවෙන් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය අනුමැතිය ලබා දුන්නේ ය.

ඔහුට සිය ධුරය අහිමි වුණේ පසුගිය දෙසැම්බර් 3 වැනි දා යුධ නීතිය පැනවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ගෙන ආ දෝෂාභියෝගයකින් පරාජයට පත්වීමෙනි.

ජනාධිපතිවරයා මුල් වරට අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ ආරක්ෂක අංශ හා පාක්ෂිකයන් විසින් වලක්විමත් සමඟ අධිකරණය විසින් කලින් වරෙන්තුවක් දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබුණි.

ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ නිල නිවසින් පිටත විශාල ජනකායක් සිටි අතර, පොලිස් නිලධාරීන් 1,000 ක් පමණ යොදවා ඇත.

ජනපතිගේ රාජකාරී අත්හිටුවීමෙන් අනතුරුව, එරට අග්‍රාමාත්‍යවරයා, වැඩබලන ජනපති ලෙස පත් කෙරුණි.

කෙසේ නමුත් ඔහුට එරෙහිව ද විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඉන් අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කෙරුණේ, එරට මුදල් සහ ආරථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයායි.