සොරකම් කරන ලද යතුරුපැදි එකලස් කරන කම්හලක් වටලයි

සොරකම් කරන ලද යතුරුපැදි එකලස් කරන කම්හලක් වටලයි

පුත්තලම පොලිස් බල ප්‍රදේශයට අයත් මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ යතුරුපැදි එකලස් කිරීමේ ස්ථානයක් වටලා එහි සොරා ගත් බවට සැකකෙරෙන යතුරු පැදි කිහිපයක් සහ තවත් එක්ලස් කිරීමේ උපාංග රැසක්ද සොයා ගැනීමට පුත්තලම මූලස්ථාන පොලිසියේ නිළධාරි පිරිසක් ඊයේ (12) වන දින සමත්ව තිබුණි.

මෙසේ යතුරුපැදි කොටස් එක්ලස් කිරීමේ ස්ථානය සොයා ගැනීමට හැකිව ඇත්තේ ඉකුත් (10) වන දින පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ, වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක නවතා තිබූ (ෆල්සර්) වර්ගයේ නවීණ යතුරුපැදියක් සොරා ගෙන ඇති අතර, එහි හිමිකරු විසින් පුත්තලම මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශණ ආරම්භ කිරීමෙන් පසුවය.

ඒ අනුව එකී යතුරුපැදිය සොරා ගත් බව පැවසෙන සැකකරු යතුරුපැදිය සොරා ගෙන යන අයුරු අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්ව තිබූ අතර, ඒ අනුව පළමුව යතුරුපැදිය සොරා ගත් සැකකරුව අත්අඩංගුවට ගැනීමට ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතුව පොලිසිය සමත්ව තිබුණි.

අනනතුරුව ඔහුගෙන් කල දීර්ඝ ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ අදාල යතුරුපැදිය තමන් විසින් සොරා ගෙන ගොස් මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පිහිටි දැව භාණ්ඩ නිෂ්පාදනය කරන ලද වඩුමඩුවක තබා ඇති බවයි.

ඒ අනුව එම ස්ථානය නිරික්ෂණය කිරීමට පැමිණි පොලිස් නිළධාරින්ට දැක ගත හැකි වූයේ යතුරු පැදි විශාල ප්‍රමාණයක අමතර කොටස් එහි තැනින් තැන දක්නට තිබූ බවයි.

ඒ අනුව කල විමර්ශණයකදී අනාවරණය වී ඇත්තේ මෙලෙස ස්ථාන කිහිපයකදී සොරා බවට සැකකරන යතුරුපැදි කිහිපයක කොටස් එහි ඇති බවටයි.

එහි යතුරුපැදි කිහිපයක්ද එක්ලස් කර ඇති අයුරුද දැක ගත හැකි වූ අතර, ව්‍යාජ අංක තහඩු කිහිපයක්ද පොලිසිය විසින් සොයා ගැනීමට එහිදී සමත්ව තිබූ බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය සදහන් කරන්නේ.

සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට පත් සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචිකාර වයස (23) අයකු බව කියයි.

අදාල එක්ලස් කිරිමේ ස්ථානයේ හිමිකරු ඒ වන විටත් කොළඹ ප්‍රදේශයට තාවකාලිකව ගොස් ඇති බවද කියයි.

ඔහුද සොයා පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවට පත් සැකකරු අද (13) දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පුත්තලම මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.

පුත්තලම කේ.ප්‍රියංකර