උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍රයක් පිටවෙලා – විභාගයත් අත්හිටුවයි

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍රයක් පිටවෙලා – විභාගයත් අත්හිටුවයි

උතුරු මැද පළාතේ අද (06) පැවැත්වීමට නියමිතව තිබූ එකොළහ ශ්‍රේණිය තුන්වන වාර පරීක්ෂණයේ සිංහල ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තොරතුරු වාර්තා වේ.

මේ හේතුවෙන් තුන්වන වාර පරීක්ෂණයේ සිංහල විෂය පැවැත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ, අනුව පාසල් වෙත යොමු කර ඇති එකොළහ ශ්‍රේණියට අදාළ සියළුම සිංහල ප්‍රශ්න පත්‍ර කට්ටල විවෘත කිරීමකින් තොරව අද (06) පෙරවරු 9.00ට පෙර නැවතත් කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද උදෑසන වනවිට කලාප 8ක කොට්ඨාස 30කට අයත් පාසල් 600කට අධික ප්‍රමාණයක අදාළ ප්‍රශ්න පත්‍රය බෙදාහැරීම නවත්වා තිබේ.

ඊට සමගාමීව විභාගය තාවකාලිකව අත්හිටුවා වෙනත් ප්‍රශ්න පත්‍රයක් ලබාදීමට කටයුතු කරන බව සිරිමෙවන් ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රශ්න පත්‍රය ඊයේ (05) වට්ස්ඇප් සමූහ හරහා හුවමාරු වී ඇති අතර, ඉන් අනතුරුව පළාතේ අධ්‍යාපන බලධාරීන් වෙත විවිධ පාර්ශ්වයන් කළ පැමිණිලි අනුව කරුණු සොයාබලා එම ප්‍රශ්න පත්‍රය පැවැත්වීම වහාම අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම ප්‍රශ්න පත්‍රය පිටවූයේ කෙසේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් පැවැත්වීමට පළාත් ප්‍රධාන ලේකම්වරයා තීරණය කර තිබේ.

මේ අතර එකොළහ ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රය පැවැත්වීම ලබන 20 දින සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා උපදෙස් ලබා දී ඇත්තේ.