කොරියාවට යැවූ ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පතෙනුත් මුදල් ගසා කාලා!

කොරියාවට යැවූ ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පතෙනුත් මුදල් ගසා කාලා!

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් දකුණු කොරියාව බලා පිටත්වන ශ්‍රමිකයන්ට අවශ්‍ය ගුවන් ටිකට්පත් 3,767ක් පෞද්ගලික නියෝජිතායතන හරහා වැඩි මිලට මිල දී ගැනීම හේතුවෙන් එම ටිකට්පත් සඳහා ශ්‍රමිකයන්ගෙන් රුපියල් මිලියන 122.6ක මුදලක් වැඩියෙන් අය කරගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

මින් පෞද්ගලික විදේශීය රැකියා නියෝජිතායතන 4ක් විසින් උපයාගෙන ඇති ලාභය රුපියල් මිලියන 94.8කි.

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් රුපියල් මිලියන 27.8ක ලාභයක් උපයාගෙන ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට පටහැනිව මෙකී ගුවන් ටිකට්පත් මිල දී ගෙන ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

2023 වර්ෂයේ අගෝස්තු මස 08 වන දින දක්වා කාල සීමාව තුළ දකුණු කොරියාව බලා පිටත්ව ගිය ශ්‍රමිකයන් වෙනුවෙන් මෙම ගුවන් ටිකට්පත් පෞද්ගලික නියෝජිතායතන හරහා වැඩි මිලට මිල දී ගෙන තිබිණි.

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව එක් ටිකට්පතක් සඳහා සියයට 1ත් සියයට 7ත් අතර වූ උපරිම ලාභාන්තිකයක් තබාගෙන ගුවන් ටිකට්පත් නිකුත් කිරීම කළ යුතුය.

එහෙත් 2023 වර්ෂයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මිල ගණන්වලට වඩා වැඩි මිල ගණන් යටතේ පෞද්ගලික නියෝජිතායතන හරහා ටිකට්පත් මිල දී ගැනීමට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් කටයුතු කර තිබිණි.

මේ හේතුවෙන් සමාගම වෙත පෙර වර්ෂයේ උපයාගෙන තිබූ ලාභය සියයට 5 සිට සියයට 2.5 දක්වා අඩු වී තිබීම හේතුවෙන් සමාගමට රුපියල් මිලියන 27.1ක අලාභයක් වී තිබිණි.