ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියගේ සැමියාගේ මළසිරුර නීතිඥවරියකගේ වත්තකින් හමුවෙයි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ මහත්මියගේ ස්වාමිපුරුෂයා දෙහිවල, හිල් වීදිය ප්‍රදේශයේ නීතිඥවරියකගේ නිවසේ වත්තේ සිහිසුන් වී වැටී සිටියදී දෙහිවල පොලිසිය විසින් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ, දෙහිවල, වෛද්‍ය පාරේ පදිංචිව සිටි ඒ. හේමජීව නමැති 60 හැවිරිදි දෙදරු පියෙක් බව පොලිසිය පැවසීය.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, තමන්ට ලද පොලිස් හදිසි ඇමතුම් පණිවිඩයකට අනුව මෙම සිද්ධිය වාර්තා වෙන නිවස වෙත ගිය බවත් එහිදී අදාළ පුද්ගලයා වත්තේ වැටී සිටි බවත් පසුව පොලිසිය විසින් ගිලන් රථයක් ගෙන්වා එම පුද්ගලයා අලුයම් කාලයේ කළුබෝවිල රෝහලට භාරදුන් බවත්ය.
එමෙන්ම, මියගිය පුද්ගලයාගේ ශරීරයෙන් අසූචි පිටවී තිබූ බවත් ඔහුට පහරදීමක් කර තිබේදැයි සෙවීමට පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද ස්ථානාධිපතිවරයා සඳහන් කර තිබේ.මෙම මරණයට අදාළව මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් ඊයේ පැවැත්විය.
මේ අතර, තම ස්වාමිපුරුෂයාගේ මරණය අබිරහසක් බවත් ස්වාමිපුරුෂයාට කිසියම් පිරිසක් පහරදී මෙලෙස ඝාතන කරන්නට ඇතැයි තමන් සැක කරන බවටත් මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ මහත්මිය ප්‍රකාශ කර තිබේ.
“මගේ මහත්තයා කාටවත් කරදරයක් නැතිව ජීවත් වූ කෙනෙක්. මහත්තයාට වෙච්ච දේ මට දරාගන්න බැහැ. මහත්තයාට නිල් වෙන්න පහරදීලා තියෙනවා. මහත්තයාට කව්රුහරි පිරිසක් පහර දුන්නද කියලා මට සැකයි.
මගේ මහත්තයා ව්‍යාපාරික කටයුතු කරනවාට අමතරව රාත්රියේදී ත්‍රිරෝද රථයක් හයර් කරනවා. මහත්තයා ජනවාරි 01 වැනිදා රාත්‍රියේ වැල්ලවත්ත ස්ටෑන්ඩ් එකේ ඉඳලා තියෙනවා.
ඊට පස්සේ තමයි මේ සිද්ධිය වෙලා තිබුණේ. කව්රුහරි පිරිසක් මහත්තයාට පහරදීලා දෙහිවල ලෝයර්ගේ වත්තට ගෙනත් දැම්ම ද සැකයි. මහත්තයාගේ ශරීරය නිල් වෙලා තිබුණා. නාසයෙන්, මුහුණෙන් ලේ ගලමින් තිබුණා.
මහත්තයාගේ ත්‍රීවීල් එක මාර්ගය අයිනේ තිබුණේ. එතකොට ලෝයර්ගේ ගේ තියෙන්නෙ ඇතුළට වෙන්න. පොලිසිය ත්‍රීවීලර් එක රෑ 11.00ට විතර පොලිසියට අරගෙන ගිහින් තිබෙනවා.
මහත්තයාව හොයාගෙන තියෙන්නේ උදේ 5.00ට ඒ ලෝයර්ගෙ වත්තෙදි. පස්සෙ මහත්තයාව රෝහලට අරන් ගිහින් තියෙන්නෙ උදේ 7.00ට විතර. මෙතන පොලිසිය පැත්තෙනුත් සැකයක් තියෙනවා.
මගේ මහත්තයාට මොකක්ද වුණේ කියලා හරියටම දන්නෙ නැහැ. සී.සී.ටී.වී. දැන් චෙක් කරනවා. මගේ මහත්තයා බොහොම අහිංසක කෙනෙක්. මේ මරණය ගැන මට සැකයි.”
මෙම මරණයට අදාළව මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් ඊයේ (03) පැවැත්විය.
දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල ප්‍රසාද් සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් කුමාර වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.