විසි ලක්ෂයේ සංචාරකයා දිවයිනට පැමිණෙයි

විසි ලක්ෂයේ සංචාරකයා දිවයිනට පැමිණෙයි

වසර 05කට පසු ව මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව ඉක්මවා ගොස් තිබේ.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ, 2024 වර්ෂයේ විසිලක්ෂයේ සංචාරකයා අද (26) පෙරවරු 10.49 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි බවයි.

බැංකොක් සිට UL 403 ගුවන් යානයෙන් මෙරටට පැමිණි මෙම විදේශිකයාව පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ගුවන්තොටුපලට පැමිණ තිබුණි.

සංචාරකයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද ගුවන්තොටුපලේ Silk Route Lounge හි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සංවිධානය කර තිබුණි.

මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016‍, 2017, 2018 වසරවල දී පමණි.

2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා සටහන් වන්නේ ද මේ වසරේදී යි.

දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයන් 195,127ක් පැමිණ ඇති අතර දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රිය වන විට සංචාරකයන් 250,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

මීට පෙර එක් මසක් තුළ සංචාරකයන් 250,000 ඉක්මවා තිබුණේ 2019 පෙබරවාරි මාසයේ පමණි.

පාස්කු ප්‍රහාරය‍, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු අතර නව රජය පත් වීමෙන් පසු සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීම ද විශේෂත්වයක්.