පුද්ගලයින් 72ක් සමඟ අසර්බයිජාන් ගුවන් යානයක් කඩා වැටෙයි
අසර්බයිජානයේ සිට රුසියාව බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් කසකස්තානයේදී කඩා වැටී තිබේ.
අසර්බයිජාන් ගුවන් සේවයට අයත් එම යානයේ මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 5 දෙනෙකු සමගින් පුද්ගලයින් 72දෙනෙක් ගමන් කර ඇති බවයි, වාර්තා වන්නේ.
යානය කසකස්තානයේ අක්ටාවු නගරය ආසන්නයේදී කඩා වැටී ඇති බව එරට හදිසි අවස්ථා පිලිබඳ අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරුව ගිනිගෙන ඇති බවත් ගිනි නිවන හමුදා භටයින් ද එම ස්ථානයට පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වේ.
කෙසේ නමුත් මෙම අනතුරෙන් 25 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, ඉන් 22ක් රෝහල් ගතකර ඇති බව කසකස්තානය රජය පවසයි.
එමෙන්ම, අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත් වන්නට ඉඩ ඇති බව ද එරට හදිසි අවස්ථා අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
අනතුරට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.