ඥානසාර හිමිට වරෙන්තු
ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනාව ට අදාල නඩුවේ තීන්දුව ලබාදීමට නියමිත අද (19) දිනයේ අධිකරණයේ පෙනී නොසිටි බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වරෙන්තු නිකුත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළ අතර ඇපකරුට නොතීසි ද නිකුත් කළේය.
2016 ජූලි මස අටවෙනි දින කිරුළපන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියාන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්, ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 291 (ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.
ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, ඥානසාර හිමියන් කොළඹ රෝහලක ප්‍රතිකාර ලබන බැවින් අද දින අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බවය.
ඒ අනුව, නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 09 වනදා තෙක් කල් තැබුණු අතර ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.