පැළවත්ත උද්ඝෝෂණය අතරතුර පොලිසි නිළධාරීන්ට තුවාල කළේ බුද්ධි නිලධාරියෙක් නෙමෙයි

පැළවත්ත උද්ඝෝෂණය අතරතුර පොලිසි නිළධාරීන්ට තුවාල කළේ බුද්ධි නිලධාරියෙක් නෙමෙයි

පැළවත්ත අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට කැපුම් තුවාල සිදුකරන ලද්දේ බුද්ධි අංශයට සම්බන්ද්ධ නිලධාරියෙක් නොවන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, එම උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගත් සැකකටයුතු පුද්ගලයා බුද්ධි නිලධාරියකු බවද ඇමැතිවරයා පැවසීය.

ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පසුගිය 2 වැනිදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනකුට තුවාල සිදුකළැයි කියන පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බවට මෙතෙක් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය10 දා දැනුම් දී තිබිණ.

එම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා විමර්ශන වල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසට පොලිසියට නියෝග කළ කඩුවෙල මහෙස්ත්‍රාත් වාගිමා විජේබණ්ඩාර, පොලිස් රාජකාරියට බාධාකිරිම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරින් සිවුදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද නියෝග කළාය.

මේ අතර එම විරෝධතාව අතරතුරදී පොලිස් නිලධාරීන්ට සිදුවූ තුවාල සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු වගකිව යුතු බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද වාර්තා වේ.