නාමල්ගේ නීති උපාධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි පැමිණිල්ලක්
නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය ලබාගත් ආකාරය ගැන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති, ජාමුනි සමන්ත තුෂාර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
ඔහු පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ වංචනිකව නීතිවේදී විභාගයට පෙනී සිට නීතිවේදී උපාධිය ලබාගෙන ඇති බවයි.
එදිනම නීතිවේදී විභාගය සඳහා පෙනී සිටි, මේ වනවිට විදේශගතව සිටිනා තරුණයෙකු විසින් එවකට නාමල් රාජපක්ෂ මහතා මෙලෙස වායුසමනය කළ තනි කාමරයක අසුන් ගෙන, විභාගයට පෙනී සිටීම සම්බන්ධව රටේ සියළුම වගකිවයුතු අංශ වෙත පැමිණිලි කර තිබෙන බව ජාමුනි සමන්ත තුෂාර පවසා සිටිනවා.
නමුත් එම සෑම ස්ථානයකින්ම අදාල පැමිණිල්ල හෝ සටහන් කර නොගෙන එය ප්රතික්ෂේප කර තිබෙනවා.
පසුව අදාල තරුණයා පැහැර ගැනීම්වලට පවා ලක්වී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා රටින් පිටවී ඇති බවත්, මේ වනවිට එම තරුණයා ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙනා පරීක්ෂණ සඳහා සාක්ෂි ලබාදීමට සූදානමින් සිටිනා බැවින් එම සාක්ෂි ලබාගෙන විධිමත් පරීක්ෂණයක් සිදුකරනා ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.