ෆෙන්ගල් සුළිකුණාටුව ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

ෆෙන්ගල් සුළිකුණාටුව ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළිකුණාටුව ඊයේ (29) ප. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 280ක පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (30) සවස් කාලයේ දී උතුරු තමිල්නාඩු – පුදුචෙරිවෙරළ වෙත ලඟා වනු ඇති බවද සඳහන්.

දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බවයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩිතරමක් තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

සබරගමුව පළාතේත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම කාලගුණ වාර්තාවේ සඳහන්.

උතුරු, උතුරුමැද,වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.