සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනයට අනුමැතිය (වීඩියෝ)
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ වනවිට (26) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.
දේශීය වෙළෙඳ පොළ තුළ සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාව සහ දැනට පවතින නාඩු සහල් හිඟය සැලකිල්ලට ගෙන, ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා, කම්කරු අමාත්‍යවරයා සමඟ එක්ව අදාළ පාර්ශ්වයන් විමසමින් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව, ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන, දේශීය ගොවියාට හානියක් නොවන පරිද්දෙන් තැම්බූ නාඩු සහල් වර්ගයට සමාන සහල් (ස්වර්ණ) වර්ගයෙන් සහල් මෙට්‍රික්ටොන් 70,000ක් වහාම ආනයනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.
දේශීය වෙළෙඳපොළේ පවතින අවශ්‍යතාව මත එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ද කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේය.