කුඩා දරුවෙකු අපයෝජනය කළ අයෙකුට වසර 08ක සිරදඬුවම්

කුඩා දරුවෙකු අපයෝජනය කළ අයෙකුට වසර 08ක සිරදඬුවම්

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණි 11 හැවිරිදි දරුවෙකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ 50 හැවිරිදි එක් දරු පියෙකුට බරපතළ වැඩ සහිත වසර 08ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා දරුවාට රුපියල් ලක්ෂ 02ක වන්දියක්ද අද (25) නියම කළේය.

කොළඹ වෙසක් කලාපයක වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණි 11 හැවිරිදි දරුවකුට වෙසක් කූඩුවක් සාදා දෙන බව පවසා කලාපයේ කුටියක් තුලට ගෙන විත්තිකරු දරුවාට බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට පමුණුවන ලද දඬුවමට අමතරව රුපියල් 10,000/-ක දඩයක්ද පැනවීය.

2015 මැයි මාසයේ දිනයක කොළඹදී බාලවයස්කාර දරුවකුට බරපතළ ලෙස ලිංගික අපයෝජනයක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් අධිචෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් පැමිණ වීය.

විත්තිකරුට පැණවූ දඩ හා වන්දි මුදල් නොගෙවන්නේ නම් අමතරව තවත් මාස 18ක සිරදඬුවම් ලබා දීමටද නියම කළ විනිසුරුවරයා එකී සිරදඬුවම් වෙන් වෙන්ව ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.