ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනියක් හදිසියේ මිය ගිහින්

ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනියක් හදිසියේ මිය ගිහින්

කැස්බෑව මඩපාත පොල්හේන සිරි සඳහම් භික්‍ෂුණී ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිනිය එම මධ්‍යස්ථානය තුළදී හදිසියේ රෝගී වී ඊයේ (13) රාත්‍රී හදිසියේ මියගිය බව කැස්බෑව පොලිසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ, කොළඹ 12 මහාධිකරණයේ වැඩසටහන් සහායක නිලධාරිනියක ලෙස රැකියාව කරන පයාගල , ඉඳුරුවගොඩ, කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි ලියනගේ චාමිකා රුවනි ලියනගේ නමැති අවිවාහක කාන්තාවක බව පොලිසිය කියයි.

මියගිය එම නිලධාරිනිය ඊයේ (13) රාත්‍රී තවත් නිලධාරිනියන් දෙදෙනෙකු සමග භික්‍ෂුණී ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානයේ රැඳී සිටියදී රාත්‍රී 8.30 ට පමණ හදිසි හෘදයාබාධයකට ලක්ව තිබේ.

එහි රැඳී සිටි පොලිස් නිලධාරින් ක්ෂණිකව ප්‍රතිකාර සඳහා ඇය පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත.

මියගිය නිලධාරිනිය යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගෙන ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිළියන්දල දිසා රෝහල වෙත පැමිණි කැස්බෑව හදිස්සි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා මළ සිරුර පරික්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

මෙම සිද්ධියෙන් ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරී කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.