බදුල්ල බස් අනතුර අවස්ථාවේ උපකාර කළ කළ වීරයින් ඇගයීමට ලක්කෙරේ

බදුල්ල බස් අනතුර අවස්ථාවේ උපකාර කළ කළ වීරයින් ඇගයීමට ලක්කෙරේ

පසුගිය 01 වැනිදා බදුල්ල – මහියංගන මාර්ගයේ දුන්හිද අඹගහඔය ප්‍රදේශයේදි සිදුවු මාරක බස් අනතුර අවස්ථාවේ දී, කඩිනමින් මැදිහත්ව උදව් උපකාර සිදුකළ පුද්ගලයින් සහ ආයතන අගයමින් ප්‍රශංසා සහතික ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් වහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑම සහ රෝගීන්ගේ පවුල්වල සාමාජිකයින්ට උදව් උපකාර කළ පුද්ගලයින් මෙලෙස ඇගයීමට පාත්‍ර කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඌව පළාත් ආණ්ඩුකාරවර ජේ. එම්. කපිල ජයසේකර මහතා විසින් ඔවුන්ට මෙලෙස ප්‍රශංසා සහතික පත්‍ර ලබා දී තිබෙනවා.

අනතුර සිදුවු අවස්ථාවේදීම අදාළ ස්ථානයට වහා දිවගොස් අනතුරට පත් බස් රථයේ සිරවී සිටි රෝගීන් එළියට ගැනීමටත්, රෝගීන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීමටත් යුහුසුළුව කටයුතු කළ බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු දසදෙනකු ද ප්‍රසංශා සහතික පත් ලද අය අතර වනවා.

පසුගිය පළමුවැනිදා බදුල්ල – දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් පෙරළීයාම හේතුවෙන් මෙම මාරක අනතුර සිදුවු අතර එම අනතුරින් සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටි සිසුන් පිරිසක් ඇතුළු 42 දෙදෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථයේ සිට ඇති අතර අනතුරින් 40 දෙනෙකු තුවාල ලබා තිබුණා.

බරපතල තුවාල ලැබූ ශිෂ්‍යයින් 07 දෙනෙකු ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර තිබු අතර මේ වනවිට ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.