පළමු ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේදී ඇරඹෙයි

පළමු ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේදී ඇරඹෙයි

“ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය” යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ (05) සහ අද (06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.

අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය සහ ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව සංවිධානය කළේය. සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය සහභාගී වූවාය.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, මියන්මාරය, ඇමෙරිකා එක්සත් ජනපදය, නේපාලය, වියට්නාමය, තායිලන්තය, ජර්මනිය, භූතානය, බංග්ලාදේශය, උස්බෙකිස්තානය, කසක්ස්තානය, ටිබෙටය, ජපානය, රුසියාව ඇතුළු බටහිර සහ ආසියානු රටවල මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.

ද්‍රෞපදී මුර්මු මහත්මිය බුදුන් වහන්සේට මල් පූජා කිරීමෙන් අනතුරුව සමුළුව ආරම්භ වූ අතර සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරාධිත අමුත්තන් විසින් පහන් දල්වන ලදී. සමුළුවේ පිළිගැනීමේ කතාව අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි මහා ලේකම් හිමියන් විසින් පවත්වන ලදී.

අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි නියෝජ්‍ය මහා ලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා සහ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි ධර්ම ලේකම් ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කරන ආරාධිත විද්වතුන් ලෙස සමුළුවට සහභාගී වේ.

එහිදී අදහස් දක්වමින් ද්‍රෞපදී මුර්මු මහත්මිය මෙලෙස ප්‍රකාශ කළාය “අද මෙම සමුළුවට ආසියාව පුරා මෙන්ම අන් රටවලින්ද සංඝරත්නය සහ විවිධ පුද්ගලයින් පැමිණිලා තිබෙනවා. බැලූ බැල්මට ඔවුන් විවිධ භාෂා කතා කරන විවිධ ඇඳුම් පැළඳුම් අඳින අය. නමුත් ඔවුන් අදහන දර්ශනය එකක්. එය බෞද්ධ දර්ශනයයි. එම නිසා ඔවුන් සියල්ලන්ම සාමකාමියි. එබැවින් මෙවන් ස්ථානයකට පැමිණීමට හැකිවීම පිළිබඳව මම සතුටට පත්වෙමි”.