නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ පළ කරන බව පවසා මුදල් ගත් තරුණයෙක් අත්අඩංගුවට

නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ පළ කරන බව පවසා මුදල් ගත් තරුණයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන අන්තර්ජාලයේ ප්‍රචාරයට කරන බවට පවසා බලෙන් මුදල් ලබාගත් සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පිරිමි පුද්ගලයෙකු සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් සංවාද ගොඩනඟා ගනිමින් නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබා ගෙන එම ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයේ පළ කරන බවට තර්ජනය කර අදාළ පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 07ක මුදලක් බලෙන් ලබා ගැනීමක් සම්බන්ධයෙන් පෙරේදා (04) එම ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මතයි, මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව, සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (05) පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් දෙහිවල පොලිස් වසමේ කවුන්සිල් ඇවිනිවූ පෙදෙසේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.