රාජ්‍ය ආයතන 17 කින් විභාග දෙපාර්තමේන්තුවට කෝටි 41 ක පොල්ලක්

රාජ්‍ය ආයතන 17 කින් විභාග දෙපාර්තමේන්තුවට කෝටි 41 ක පොල්ලක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විවිධ ආයතන විභාග වෙනුවෙන් රාජ්‍ය ආයතන 17 කින් අයවිය යුතු රුපියල් 413,741,500(හතලිස් එක් කෝටි තිස් හත් ලක්ෂ හතලිස් එක් දහස් පන්සියයක මුදලක් විභාග දෙපාර්තමේන්තුව මගින් අයකර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

2023.12.31 දිනට සමාලෝචිත වර්ෂයේ පැවැත්වූ ආයතන විභාග වෙනුවෙන් ලැබිය යුතු මෙම මුදල 2024 ජූලි මාසය දක්වාත් අයකර ගෙන නොතිබූ බව විභාග දෙපාර්තමේන්තුවට අදාල විගණන වාර්තාවක කළමනාකරණ දුර්වලතා වලට අදාළ විගණන නිරීක්ෂණ යටතේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ ආයතන වෙත ලිපි යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව විගණනයට ලබා දුන් පිළිතුරේ සඳහන්වේ.

මෙම මුදල කඩිනමින් අයකර ගැනීමට ප්‍රමාණවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව විගණන කාර්යාලය මගින් විභාග දෙපාර්තමේන්තුව වෙත විගණන නිර්දේශ ලබා දී තිබේ.