ඡන්ද දිනය ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්

ඡන්ද දිනය ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්

මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වනදා සිට ඔක්තෝබර් මස 11 වන දා දක්වා දින නියම කළ බවය.

මැතිවරණ පනත ප්‍රකාරව නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බවත් පෙත්සමෙන් පෙන්වා දෙයි.

ඒ අනුව නාම යෝජනා භාරගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වන දා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වන දා අවසන් වන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුළත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

මෙම වරද පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළත් ඉන් ඵලක් අත් නොවූ බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

මේ තුළින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදුවන බවත් මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එසේම අදාළ වරද නිවැරදි කිරීමට හේතුවන සුදුසු නියෝගයක් වේ නම් එවැනි නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටී.