ලොහාන්​ගේ ලේකම්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

ලොහාන්​ගේ ලේකම්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රත්වත්තේ පවුලට අයත් මහයියාවේ පිහිටි නිවසට සම්බන්ධව ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් තුළ තිබියදී ඔහුගේ සිරුර අද (20) දහවල් සොයා ගැනුණා.

සංජීව බස්නායක නමැත්තාගේ සිරුර මහයියාව ගොඩනැගිල්ලක තිබී සොයාගැනීමෙන් පසු මහනුවර ජාතික රෝහලට රැගෙන එනු ලැබුවා.

වෙඩි තැබීමට උපයෝගි කරගත් බවට සැක කෙරෙන මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් ද එම ස්ථානයේ තිබී සොයාගෙන ඇති අතර එය මියගිය පුද්ගලයාගේ නමට ලියාපංදිචි කර ඇති බවට පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් මෙය වෙඩි තැබීමක් ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට හා මහනුවර පොලිසිය ඒකාබද්ධව විමර්ශන සිදුකරනු ලබනවා.