කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 ක් ඝාතනය කළ නඩුව වසා දමයි

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 ක් ඝාතනය කළ නඩුව වසා දමයි

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවට අපරධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දී ඇති නීතීපතිවරයා සිද්ධියට අදාළව නීතීපති දෙපාර්තමෙන්තුවේ පවත්වාගෙන ගිය ගොනුවද වසා දැමීමට පියවර ගෙන ඇත.

විරෝධතාවයකදී බන්ධනාගාර රැඳවියන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදු කිරීමේ සිද්ධිය අපරාධයක් බව වසර 03ක කාලයක් තිස්සේ පැවැත්වු ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය අවසානයේදී තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අපරාධයට සම්බන්ධ සිය`ථම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මීට වසර 1 1/2කට පෙර නියම කර තිබියදී නීතීපතිවරයා එලෙස පියවර ගෙන ඇත.

වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව නීතීපතිවරයා අපරධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරණය කැඳවා තිබු පසුගිය අගොස්තු 30 වැනිදාය.

නීතීපතිවරයා වෙනුවට අතරේක සොලිසිටර් ජනරාල් හරිපියා ජයසුන්දර මහත්මිගේ අත්සනින් යුතු ලිපියක් මඟින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට ඒ බව දැනුම් දී ඇති අතර එහි පිටපත් රහස් පොලිසියේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සහ වැලිසර මහෙස්ත්‍රාත්වරයාටද යොමු කර ඇත.

සිද්ධියට අදාළ විමර්ශන උධෘත අධ්‍යනය කිරීමේදී නිලධාරීන්ගේ සහ රැඳවින්ගේ පෞද්ගලික ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් නීත්‍යානූකූලව කටයුතු කර ඇති බවත් නිලධාරීන් පෞද්ගලික ආරක්‍ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නොමැති බව නීරීක්‍ෂණය කරන බවත් සඳහන් කරන නීතීපතිවරයා බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර පනතේ 77 වැනි වගන්තියට අනුකූලව ක්‍රියාකර ඇති බව අනාවරණය වන බවද සඳහන් කර ඇත.

එහෙයින් මෙම සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවද දෙපාර්තමෙන්තුවේ පවත්වා ගෙන යන ගොනුව වසා දැමීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් දැනුම් දී ඇත.

පසුගිය ‘කොවිඩ්’ සමයේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් තමන්ට ‘කොරෝනා’ වයිරසය ආසාධනය වී ඇත්දැයි දැන ගැනීම සඳහා ‘කොවිඩ්’ පරීක්‍ෂණ කරන ලෙසත් ‘කොරෝනා’ වයිරසය ආසාධනය වී බන්ධගාරයේ සිටින රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙසත් ඉල්ලා 2020 නොවැම්බර් 29 වැනිදා විරෝධතාවයක් කළ බවත් ඒ අවස්ථාවේදී ඔවුන් කළහාකාරී අන්දමින් හැසිරෙමින් විරෝධතාවයක නියැලී ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කොට තිබිණී”