ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මාසයකින්

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මාසයකින්

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කර මාසයක් තුළ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවැසීය.

ලබන වර්ෂයේ ජනවාරි මැද හය ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමට බාධාවක් නොවන පරිදි පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බවත් ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව සම්බන්ධයෙන් තවමත් විමර්ශන අවසන් කළ වාර්තාව නිකුත් නොකළ ද, දැනට තිබෙන විමර්ශන කටයුතු අනුව නැවත ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමක් සිදු නොකරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා ඊයේ (14) මේ බව පැවැසුවේය.

පසුගිය වර්ෂයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් ආරම්භ කර මාසයක් තුළ ප්‍රතිඵල නිකුත් කළ බවත්, මෙවර විභාගයේ ගැටලුවක්ව පවතින ප්‍රශ්න නිකුත් වීම සම්බන්ධයෙන් සියලු දරුවන්ට නිදහස් ලකුණු තුනක් ලබාදීම සිදු කරන බවත් ඒ මහතා කීය.

සැප්තැම්බර් 15 වැනිදා ශිෂ්‍යත්ව විභාගය පවත්වා මේ වන තෙක් මාසයක් ගතව ඇතැයි ද, පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු ප්‍රමාදව පවතිනුයේ විභාගය ගැන පවතින ගැටලු සම්බන්ධයෙන් පවතින විමර්ශන අවසන් කර නොමැති නිසා යැයි ද හෙතෙම පැවැසීය.

මෙම විභාගය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී සියලු දරුවන්ට සාධාරණයක් වන පරිදි තීරණ ගැනීමට පියවර ගෙන ඇති බවත් විභාග වංචා කටයුතුවලට සම්බන්ධ සියලු දෙනාට දැඩි දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

නැවත මෙවැනි විභාග වංචාවන් සිදු නොවීමට අවශ්‍ය කටයුතු දෙපාර්තමේන්තුව මට්ටමින් ගන්නා බවත් විභාග සම්බන්ධයෙන් වංචනික කටයුතු සිදුවනුයේ ක්‍රමවේදයේ පවතින ගැටලුවක් නිසා නොව පුද්ගලයන් තුළ පවතින ගැටලු නිසා බවත් ඔහු පැවැසුවේය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයන් 323, 000ක් පෙනී සිටි බවත් මධ්‍යස්ථාන 2849ක දී විභාගය පැවැත්වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙවර පහ වසර විභාගය සම්බන්ධයෙන් වන ගැටලු ඉක්මණින් විමර්ශනය කර වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදීමට නියමිත බවත් මෙම ගැටලුව සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් අදියරේ දැනට පවතින අතර ඉදිරි දින කිහිපය තුළ දී අවසන් වාර්තාව නිකුත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවැසුවේය.