හිටපු දේශපාලන ප්‍රබලයෝ විස්සක් මහ ඡන්දෙට නෑ

හිටපු දේශපාලන ප්‍රබලයෝ විස්සක් මහ ඡන්දෙට නෑ

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.

මෙම පිරිසට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන යන අයද ඇතුළත් වෙති.

මෙසේ තරඟ නොකිරීමට තීරණය කර ඇති පිරිසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ෂාන් විජයලාල් ද සිල්වා, විමල් වීරවංශ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ආචාර්ය විජයදාස රාජපක්ෂ, විමල වීර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, සී.වී විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග ෂෙහාන් සේමසිංහ, එස්බී දිසානායක, කනක හේරත් යන මහත්වරු ඇතුළත් වෙති.

මේ අතර පසුගියදා විසුරුවා හැරි පාර්ලිමේන්තුවට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු කළ කරු ජයසූරිය, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ, මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් තමා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදහස් දක්වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ, තම පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස සන්ධාන ගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තරග නොකරන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සම්ප්‍රදායනුකූලව විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමෙන් බහුතර මහජන අපේක්ෂා සහ අපගේ අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක ක්‍රියාවක් ලෙස අපි කල්පනා කරමු යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා පැවසුවේ, ඉදිරි මහ මැතිවරණයේදී තරුණ උගත් අයට අවස්ථාව ලබා දීමට තමා තීරණය කළ බවයි.

මේ අතර මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අතර නවක මුහුණු රැසක් දැක ගත හැකි වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ සඳහන් කරති.