‘‘ගුරු සෙත‘‘ ට වංචා කල ගුරුවරියක් අත්අඩංගුවට

‘‘ගුරු සෙත‘‘ ට වංචා කල ගුරුවරියක් අත්අඩංගුවට

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදලක් වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාවක හිටපු ගුරුවරියක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය කියයි.

මෙම වංචාව සම්බන්ධයෙන් විශ්‍රාමික විදුහල්පතිනියක් වන සැකකාරියගේ මව , මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය බැංකු ශාඛාවක කළමනාකාරවරියක ඇතුළු 11 දෙනකු මීට පෙර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ප්‍රධාන සැකකාරිය වන හිටපු ගුරුවරියගේ පුංචි අම්මා වන කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් , එම ප්‍රදේශයේ රාජ්‍ය බැංකුව වෙත ගොස් ඇය රුපියල් ලක්ෂ 20 ක ගුරුසෙත ණයක් ලබාගෙන ඇති බවට සඳහන් කරමින් මහනුවර ශාඛාවකින් ලිපියක් ලැබුන බවත් එවැනි ණය මුදලක් තමන් ලබා නොගත් බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන ලෙස 2019 වසරේ නොවැම්බර් මාසයේදී එම ශාඛාවේ කළමනාකරුට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනයක් පැවැත්වූ මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලය ඒ ආකාරයෙන් මහනුවර ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් 26 දකුගේ හැඳුනුම්පත් උපයෝගී කරගෙන ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර දෙල්තොට , ගම්පොළ, මහනුවර සහ මහනුවර කේ .සි. සි. ශාඛාවෙන් අවස්ථා 26 කදි රුපියල් 42,055,000/= ක මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ප්‍රාදේශීය කළමනාකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රධාන සැකකාරියේ ගේ මව වන විශ්‍රාමික විදුහල්පතිනිය , බැංකු කළමනාකාරවරිය ඇතුළු සැකකරුවන් 11 දෙනා මෙකී කාලය තුලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් බැංකු කළමනාකාරිය සහ විදුහල්පතිනිය හැරෙන්නට ඒ අතර කාන්තාවන් අට දෙනකුද වන බව පොලිසිය කියයි.