ජාත්‍යන්තර පාසල් නියාමනයට වෙනම ඒකකයක්

ජාත්‍යන්තර පාසල් නියාමනයට වෙනම ඒකකයක්

ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා වෙනම ඒකකයක් වහාම පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර පාසලක සිසුවියක් නෙළුම් කුලුනෙන් පැන සිය දිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ ආයතනයක් නොමැති වීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පසුගිය 2020 වසරේ නිකුත් කළ වාර්තාවක ද සඳහන් කර තිබේ.

එම පාසල්වල ගුරුවරුන්ගේ සුදුසුකම් හා ඉගැන්වීම් ක්‍රම , දරුවන්ගේ විනය , ගාස්තු අය කිරීමේ විෂමතා සහ විෂය නිර්දේශ ආවරණය නොකිරීම වැනි ගැටලු රැසක් එම වාර්තාවෙන් පෙන්වා දී තිබිණි.

මෙම ගැටලු සම්බන්ධයෙන් වරින් වර අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබිණි. එහෙත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නීතිමය බලයක් නොමැති හෙයින් අමාත්‍යාංශයට කළ හැකි වූයේ ඒ සම්බන්ධයෙන් අදාළ පාසලින් විමසීමක් කිරීම පමණි. එම පාසල් නියාමනය සඳහා වෙනම ඒකකයක් පිහිටුවීමෙන් පසු එම තත්ත්වය වෙනස් වනු ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවැසීය.

සමාගම් පනත යටතේ ලියාපදිංචි ජාත්‍යන්තර පාසල් තුන්සිය අනූ පහක් පවතින අතර ඉන් එකසිය අනූ පහක් ම ඇත්තේ බස්නාහිර පළාතේ ය. අඩුම සංඛ්‍යාව ඇත්තේ උතුරු මැද පළාතේ ය. එම සංඛ්‍යාව හතරකි.

නෙළුම් කුලුනෙන් පැන සිය දිවි නසා ගත් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අද ( 10 වැනිදා ) වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය එම ජාත්‍යන්තර පාසලට දැනුම් දී තිබේ.

එම වාර්තාව ලබා ගන්නා අතර ම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර විසින් පත්කරන ලද කමිටුව ඇතුළු නිලධාරී කණ්ඩායමක් එම පාසලට යාමට නියමිතය.

අතිරේක ලේකම්වරු තිදෙනෙක් එම කමිටුවට අයත් වෙති. දරුවන්ට උපදේශන සේවා ලබා දීම සඳහා පාසලේ පවතින වැඩපිළිවෙළ, ඒ සඳහා පුහුණු ගුරුවරු සිටින්නේ ද, දරුවන්ගේ විෂය බාහිර ක්‍රියාකාරකම් කවර මට්ටමක පවතින්නේ ද යන කරුණු සම්බන්ධයෙන් මෙම කණ්ඩායම පූර්ණ අධීක්ෂණයක යෙදෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.