අමෙරිකාවෙන් 360 ER නිරීක්ෂණ ගුවන්යානයක් ශ්‍රී ලංකාවට

අමෙරිකාවෙන් 360 ER නිරීක්ෂණ ගුවන්යානයක් ශ්‍රී ලංකාවට

අමෙරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් (360 ER) වර්ගයේ නව නිරීක්ෂණ ගුවන්යානාව කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අද (10) නිල වශයෙන් භාරදීමට නියමිතව තිබේ.

එම අවස්ථාවට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චැන්ග් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළෙහි තවත් සුවිශේෂ අවස්ථාවක් ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබූ බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beechcraft King Air360 ER {Extended Range}) වර්ගයේ නිරීක්ෂණ ගුවන්යානයක් මෙලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන්යානා සංචිතයට එක්වන අතර එය ඉදිරියේදී ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලගණයට (NO 3 Maritime Squadron) අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ සහ ආපදා ප්‍රතිචාර දැක්වීම වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපද රජය අතර පැවැත්වූ සාකච්ඡාවන්හිදී අමෙරිකා එක්සත් ජනපද රජයෙන් සමුද්‍රීය නිරීක්ෂණ වර්ගයේ ගුවන්යානාවක් ලබාගැනීම පිළිබඳ අවධානය යොමු කළ අතර ඒ පිළිබඳ 2019 වර්ෂයේ සිට සාකච්ඡා වට කිහිපයක්ම පවත්වනු ලැබූ බව ද එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකා එක්සත් ජනපද රජය විසින් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER වර්ගයේ ගුවන්යනයක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීම සිදු කරන බව ද කියා සිටී.

බහුකාර්ය ගුවන් යානාවක් ලෙස කටයුතු සිදු කිරීමට හැකියාව ඇති බිච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER ගුවන්යානය පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්, නිරීක්ෂකයන්, ගුවන් ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් අමෙරිකා එක්සත් ජනපදයේදී අධ්‍යයනය හා පුහුණුව ද ලබා ඇත.

බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER නිරීක්ෂණ ගුවන්යානය ටර්බෝ ප්‍රොප් (Turboprop) වර්ගයේ ද්විත්ව එන්ජින් (Twin-engine) සහිත එක් ගුවන් ගමනකදී නාවික සැතපුම් 1806 දුරක් ගමන් කිරීමේ හැකියාවක් ඇති නවීන නිරීක්ෂණ ගුවන්යානයක් (Multirole Light Transport Aircraft) වන අතර එය අමෙරිකාවේ Textron Aviation ගුවන් සමාගමේ නිෂ්පාදනයකි.