ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයේත් වාහන 25 ක් අතුරුදහන්

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයේත් වාහන 25 ක් අතුරුදහන්

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වී ඇති කාර් රථ 10ක්, කැබ් රථ 10ක්, ජිප් රථ 02ක්, යතුරුපැදි 02ක් සහ, ලොරි රථයක්, අස්ථානගත වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.

වර්තමානයේ මෙම වාහන භාවිතා කරණු ලබන පාර්ශව පිළිබද තොරතුරු අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බවද විගණනය මගින් අනාවරණය කර ඇත.

මෙම වාහන විධිමත්ව අපහරණය කළ බවට සාක්ෂි විගණනයට අනාවරණය වී නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

අමාත්‍යංශයේ ප්‍රවාහන අංශය විසින් මේ සම්බන්ධයෙන් මුදල් රේගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබු අතර මෙම වාහන 2023 දෙසැම්බර් මස 31 දිනට අමාත්‍යංශයේ වාහන ලැයිස්තුවට හා වත්කම් ගිණුමට ඇතුළත්ව නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මේ නිසා 2023 වර්ෂයේ ගිණුම්වල ඇතුලත් වත්කම්වල වටිනාකම ඌණ ගණනය වී ඇති බවද විගණනය මගින් අනාවරණය කර ඇත.

එමෙන්ම අමාත්‍යංශයේ ප්‍රවාහන අංශය සතු මෝටර් රථ 15ක් මේ වනවිට වෙනත් රාජ්‍ය ආයතන විසින් භෞතිකව පරිහරණය කරනු ලැබුවද මේ දක්වා එම වාහන විධිමත්ව පවරාදීමට හෝ නැවත ලබාගැනිමට කටයුතු කර නොතිබුණි.

එහි රුපියල් මිලියන 33.7ක් වූ වාහන 08ක් සහ තවදුරටත් ගිණුම්ගත නොකළ වාහන 07ක් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාලව නිකුත් කර ඇති කාර්ය සාධන වාර්තාවට ඇතුලත්ව ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත්ව ඇත.