හිතවතුන්ගෙන් ඉල්ලා පාස්කු වන්දිය අද පියවන බව රාජ්‍ය බුද්ධි අංශ හිටපු ලොක්කා කියයි

හිතවතුන්ගෙන් ඉල්ලා පාස්කු වන්දිය අද පියවන බව රාජ්‍ය බුද්ධි අංශ හිටපු ලොක්කා කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව නියමවූ වන්දියේ හිඟ මුදල වන රුපියල් මිලියන 65 අද ගෙවා එහි ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ වරයා අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් රුපියල් මිලියන 75ක වන්දි මුදලක් ගෙවන ලෙස නිලන්ත ජයවර්ධන මහතාට අධිකරණයෙන් නියම කර තිබුණි.

එම වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා නොතිබීම නිසා අධිකරණයට අපහාස කිරීම යටතේයි, ඔහු අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා තිබුණේ.

ඊට අදාළ නඩුව අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

නඩු විභාගය අතරතුර විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, තම සේවාදායකයා ක්‍රියාකාරී පොලිස් නිලධාරියෙකු බැවින් වන්දි ගෙවීම සඳහා බාහිර පාර්ශවයන්ගෙන් මුදල් ඉල්ලා සිටීමට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ජයවර්ධනගේ හිතවතුන් විසින් ගෙවීමට ඇති ඉතිරි වන්දි මුදල ගෙවීමට සහය වීමට ඉදිරිපත් වී ඇති බවත් අදාළ මුදල අද බැංකුව හරහා වන්දි ගෙවීමේ කාර්යාලයට පියවන බවත් ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් දන්වා සිටියේය.