රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි
අමාත්‍යාංශ යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රධානීන් නැවත පත් කරන තෙක් සියලුම අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට අමාත්‍යාංශ ලේකම්වරු අදාළ ආයතනවලට දැනුම් දී තිබේ.
ඒ අනුව, සංස්ථා, මණ්ඩල හා අධිකාරි ඇතුළු රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් තාවකාලිකව අත්හිටුවන අතර ඒවාට අදාළ අධ්යක්ෂ මණ්ඩල තීරණ ගැනීම් ද තාවකාලිකව නතර වනු ඇත.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ උපදෙස් අනුව ඊට අදාළ නියෝගයක් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් අගමැතිනිය යටතේ ඇති අමාත්‍යාංශවලට යොමුකර තිබේ.
ඒ අනුව, අගමැතිනිය යටතේ පවතින අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට, අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මියටත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන්ට අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් මෙම නියෝගය දෙනු ලැබ තිබේ.
ඇතැම් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් තනතුරුවලින් ඉවත් වුවද ඇතැම් ආයතනවල තනතුරු දැරූවන් ඉවත් නොවීම ඊට හේතු වී ඇත.
ජනපති අනුර කුමාර දිසානායක මහතා ධුරයට පත්වීමෙන් පසු මේ වනවිට රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් ක්‍රමානුකූලව පත්කෙරෙමින් පවතින අතර ඒ යටතේ ආණ්ඩුකාර ධුරවලටත් වැඩ බලන පොලිස්පති හා රාජ්‍ය බුද්ධි ප්‍රධානි තනතුරුවලට ද පත්වීම් කෙරිණි.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසුවේ, නව සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානීන් පත් කිරීම නව අමාත්‍යවරුන්ගේ කාර්යභාරයක් බවය.
ඇතැම් මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත් කර තිබේ.
ඉදිරියේ දී සෙසු අධ්යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන් විසින් පත් කරන බව ඔහු පැවසුවේය.