පළමු තරඟයෙන් පාකිස්තාන කාන්තා පිලට ලකුණු 31ක ජයක්

පළමු තරඟයෙන් පාකිස්තාන කාන්තා පිලට ලකුණු 31ක ජයක්

2024 විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

‘ඒ’ කාණ්ඩය යටතේ පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන පිල ලකුණු 116ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 85ක් පමණි.

පිළිතුරු ඉනිමේ තෙවැනි ඕවරයේදීම ශ්‍රී ලංකා පිලට අභියෝග කළ පාකිස්තාන නායිකා ෆාතිමා සානා ශ්‍රී ලංක නායිකා චමරි අතපත්තු ලකුණු 6කට යළි ක්‍රීඩාගාරයට හරවා යැවුවාය.

හර්ෂිතා සමරවික්‍රම (7) සහ හසිනි පෙරේරා (8) ඔමයිමා සොහයිල් එවූ පන්දු කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුත්, කවිෂා දිල්හාරි (3) සාදියා ඉක්බාල් හමුවේත් අඩු ලකුණු ගණනකට දැවී ගිය අතර, විශ්මි ගුණරත්න ලකුණු 20ක් රැස් කිරීමෙන් අනතුරුව 5 වැනි කඩුල්ල ලෙස දැවී ගියාය.

ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව 52ක් විය. ජයග්‍රහණ ශ්‍රී ලංක පිලෙන් ඉවතට යද්දී නිලක්ෂි ද සිල්වා පන්දු 25කින් ලකුණු 22ක් රැස් කරමින් සටනක් දීමට උත්සාහ කළත් ඇය ද සමඟින් කඩුලු 3ක් ලකුණු 2ක් තුළ බිඳ වැටීමෙන් පාකිස්තාන ජය තහවුරු විය.

පන්දු යැවීමේදී සාදියා ඉක්බාල් කඩුලු 3ක්, ෆාතිමා සානා, නෂ්රා සන්ධු සහ ඔමයිමා සොහයිල් කඩුලු 2 බිගින් බිඳ දැමූහ. සානා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.

පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන ඉනිම ලකුණු 100 සීමාවෙන් එපිටට ගෙන යෑමට නායිකා ෆාතිමා සානා සමත් වූයේ පන්දු 20කින් ලකුණු 30ක් රැස් කරමිනි. හතරේ පහර 3ක සහ හයේ පහරක් ඇය ඉනිමට එක් කළ අතර, නීඩා ඩාර් පන්දු 22කින් ලකුණු 23ක් රැස් කළාය. පන්දු යැවීමේදී චමරි අතපත්තු, සුගන්දිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 3 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා පිල සහභාගී වන දෙවැනි තරග හෙට (5) ඔස්ට්‍රේලියාවට එරෙහිව සාජා පිටියේදීම පැවැත්වේ.

පාකිස්තාන කාන්තා පිල – 116 (ඕවර 20) ෆාතිමා සානා 30, නීඩා ඩාර් 23, ඔමයිමා සොහයිල් 18 (චමරි අතපත්තු 18/3, සුගන්දිකා කුමාරි 19/3, උදේශිකා ප්‍රබෝධනී 20/3)

ශ්‍රී ලංකා කාන්තා පිල – 85/9 (ඕවර 20) නිලක්ෂි ද සිල්වා 22, විශ්මි ගුණරත්න 20 (සාදියා ඉක්බාල් 17/3, ෆාතිමා සානා 10/2, නෂ්රා සන්ධු 15/2, ඔමයිමා සොහයිල් 17/2)

බංග්ලාදේශයට ලකුණු 16ක ජයක්

තරගාවලිය ආරම්භ කරමින් ස්කොට්ලන්තය සමඟ පැවති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 16ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල කඩුලු 7ක් දැවී ලකුණු 119ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 103ක් පමණි.

සාරා බ්‍රයිස් නොදැවී ලකුණු 49ක් රැස් කරමින් ස්කොට්ලන්තය ජයග්‍රහණය කරා ගෙනයෑමට උත්සාහ කළ ද කිසිදු සහායක් නොලැබීමෙන් පරාජය හිමිකර ගැනීමට කණ්ඩායමට සිදු විය. පන්දු යැවීමේදී රිතු මෝනි ලකුණු 15කට කඩුලු 2ක් දවාගත් අතර, ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනා ගත්තාය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල වෙනුවෙන් පන්දු 38කදී හතරේ පහර 2ක් සමඟ ලකුණු 36ක් රැස් කළ සෝභනා මෝස්තරි ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, ශති රාණි ලකුණු 29ක් රැස් කළාය. පන්දු යැවීමේදී සස්කියා හෝර්ලි කඩුලු 3ක් බිඳ දැමූවාය.

බංග්ලාදේශ කාන්තා පිල – 119/7 (ඕවර 20) සෝභනා මෝස්තරි 36, ශති රාණි 29, නිගාර් සුල්තානා 18 (සස්කියා හෝර්ලි 13/3)

ස්කොට්ලන්ත කාන්තා පිල – 103/7 (ඕවර 20) සාරා බ්‍රයිස් නොදැවී 49 (රිතු මෝනි 15/2)