සජින් වාස් ඇතුළු තිදෙනෙකු වාහන නඩුවකින් නිදහස්

සජින් වාස් ඇතුළු තිදෙනෙකු වාහන නඩුවකින් නිදහස්

2015 වසරට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ තිබූ වාහන 797න් 309ක් භාර දී නොමැති බවට පවරා තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කළාය.

ඒ, සැකකරුවන් නඩුවෙන් මුදා හරින ලෙස නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බලමින්.

එමෙන්ම, නිදහස් කළ තිදෙනාගේ විදේශ ගමන් තහනම් ඉවත් කරන ලෙස ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ටාර්වරියට නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති පළමු සැකකරු මියගොස් ඇති බව මහේස්ත්‍රාත්වරිය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේය.

2015 වසරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන නිළධාරීයා කළ පැමිණිල්ලකට අනුව හිටපු මන්ත්‍රීවරයාට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතය භාරව කටයුතු කළ කීර්ති අමරසිංහ දිසානායක, මොහොමඩ් ස්මයිල් අහමඩ් කබීර්, සචින් වාස් ගුණවර්ධන, සුදත් අබේසිංහ යන අයවළුන්ට එරෙහිව නඩු පවරා තිබුණි.

මෙම සිද්ධියට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලේ වාහන සංචිතයේ තිබූ අධිආරක්ෂිත බෙන්ස් රථය ඇතුලු වාහන 20 ක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන භාරයේ තිබූ බවටයි, චෝදනා එල්ල වී තිබුණේ.