මිල කළ නොහැකි පුරාවස්තු ළඟ තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

මිල කළ නොහැකි පුරාවස්තු ළඟ තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු කැණීම් සිදු කර එයින් ලබා ගන්නා ලද මිල කළ නොහැකි මැණික්, දුර්ලභ ගණයේ පිළිම හා මංජුසාවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පස්සර කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එන්. ගමගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (30) පරමංකඩ ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර තිබේ.

එහි දී පෞරාණික වටිනාකමක් ඇති ස්ථානයකින් පුරාවස්තු කැණීම් සිදු කර එයින් ලබා ගන්නා ලද ඉතා දුර්ලභ ගණයේ විවිධ බරින් හා විවිධ පැහැයෙන් යුත් මැණික් ගල් 11 ක්, රන් පැහැති මංජුසාවක්, රිදී පැහැති බුදු පිළිමයක්, තඹ පැහැති ඇත් පිළිම 03 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට්ටිමුල්ල, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26, 63 වයසේ පසුවන පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු පස්සර පොලිසිය මගින් සිදු කරනවා.