රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කෙරේ

රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කෙරේ

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Takafumi Kadono යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින සිදුකෙරුණි.

නව පීඨය ඉදිකිරීම, ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක වන, රජයේ විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 33 ක මුදලක් ඒ සඳහා වැයකොට තිබේ.

මෙහි ඉදිකිරීම් 2021 වසරේදී ආරම්භ කෙරැණ අතර වත්මන් කර්මාන්ත වලට ගැලපෙන පරිදි, තාක්ෂණික, අධ්‍යාපනික හා පර්යේෂණ පහසුකම් නගාසිටුවීම හරහා තාක්ෂණය මත පදනම් වූ ශ්‍රම බලකාය ඉහළ නැන්වීම මෙහි ප්‍රධාන අරමුණයි.

නව පීඨය අක්කර 2 ක භූමි භාගයක ඉදිකර ඇති අතර, ආසන 800 ක ධාරිතාවයකින් යුත් ශ්‍රවණාගාරයක්, මහල් 3 කින් යුත් විශාල පුස්තකාලයක්, බහු දේශන ශාලා, අති නවීන විද්‍යාගාර රැස්වීම් ශාලා වලින් එය සමන්විත වේ.

මෙම පීඨය යටතේ, ජෛව සැකසුම් තාක්ෂණවේදය, විදුලි හා ඉලෙක්ට්‍රෝනික තාක්ෂණවේදය, ආහාර තාක්ෂණවේදය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය හා ද්‍රව්‍ය තාක්ෂණවේදය යන අධ්‍යයන අංශ 05 ක්‍රියාත්මක වීමට නියමිතයි.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී, මහාචාර්ය සංජීවනී ගිනිගද්දර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය චතුරංග බමුනුආරච්චිගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.