ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ

ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (30) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී කැඳවා තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මේ වන විට ආරක්ෂාව දී ඇති ප්‍රභූවරුන්ට පවතින ආරක්ෂක තර්ජන පිළිබඳ එහිදී සමාලෝචනයක් කිරිමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව එහිදී ප්‍රභූ ආරක්ෂාවට අදාළ විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව ද තීරණය කිරීමට ද නියමිත බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට පසුගිය දා රජය තීරණය කෙරුණි.

ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරුන් තම ආරක්ෂාව පිළිබඳව දැනුම් දී ඇති අතර ඔවුන්ට ආරක්ෂකයින් අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව ද දැනුම් දී තිබුණි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා අද දිනයේ දී මෙම සාකච්ඡාව කැඳවා ඇති බව වාර්තා වේ.